Categories

VISITORS


  • මැති ඇමැතිවරු-මන්ත්‍රීවරු-කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ෆයිල් මා ළඟ තියෙනවා
  • ජනපති ලෙස මා මාධ්‍ය කියන දේම සිතිය යුතු යැයි ඔබ සිතනවා නම් එය වැරැදියි
  • ජනපති මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියයි
  • 8 වැනිදායින් පසු කටවුට්, පෝස්ටර්, බැනර් ඉවත් කිරීමට පියවර ගන්නවා
  • එක්කෙනෙක් දෙන්නෙක් පක්ෂයෙන් ගියාට මටවත් ජනපතිවරණයටවත් දැනෙන්නේ නෑ
  • මට අභියෝගයක් කියා සිතුව රනිල් දැන් නිහඬව පැත්තකට කරලා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවෙන් පසුගිය කාලයේ ඉවත්ව ගිය ඇමැතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ ෆයිල් තමා ළඟ ඇති බවටත්, ඒවා එළියට දමන බවටත් මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණු නමුත් මා ළඟ විවිධ වර්ගයේ ෆයිල් ඇති බවත්, ඇමැතිවරු, මන්ත්‍රීවරු එවූ ෆයිල් ද, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ෆයිල් ද ඇතුළු විවිධ ෆයිල් වර්ග තිබුණත් මාධ්‍යයේ තමුන් හිතන ෆයිල් මා ළඟ නැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

මාධ්‍ය හිතන දේ ජනාධිපති ලෙස මා සිතිය යුතු යැයි තමුන්නාන්සේලා සිතා සිටිනවා නම් එය වැරදි අදහසක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පෙරවරුවේ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සහ කතුවරුන් සමඟ පැවැති සුහද හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා,

මහින්ද අබේසුන්දර, කරුණාදාස සූරියආරච්චි හා සුජීව දිසානායක යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳ සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව දැක්වීමට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

අනතුරුව කර්තෘවරුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මැතිවරණ නීති උල්ලංඝනය වීම් හා එවැනි සිදුවීම් කිසිවක් වාර්තා නොවන බවය. 08 වැනිදායින් පසුව සියලු පෝස්ටර් හා කටවුට්, බැනර් ඉවත් කිරීමට වහාම පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙක් පක්ෂය අතහැරියාට ඒ බව දැනෙන්නේ නැති බව කී ජනාධිපතිතුමා එවැනි අඩුවක් සිදු වී ඇති බවක් තමන්ට පෙනෙන්නට ද නැති බව ද අවධාරණය කළේය. ජනාධිපතිවරණයේදී ස්ථිර ලෙසම තමන්ගේ ජය තහවුරු වන බව විශ්වාස බවත් කීය.

මෙහිදී කෙනෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨයන්ට තමන් නිසා අසාධාරණයක් සිදුකර නොමැති බවයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර දි. මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සිටින බවත්, ඔවුන්ට සාධාරණයක් ඉටුකළ බවත් කීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ලේකම්වරුන් දාලා ගිහින් තියෙනවා කීප අවස්ථාවකම. නමුත් ඉන් පාඩුවක් සිදු වී නොමැති බව ද අවධාරණය කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී තමන් විශ්වාස කළේ තමාට ඇති අභියෝගය රනිල් වික්‍රමසිංහ මහතා බවත්, නමුත් මේ වන විට එතුමා නිහඬව පැත්තකට වී සිටින බවත් කී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට චන්ද්‍රිකා, මංගල, මෛත්‍රී සන්ධානයක් ඇරඹී ඇති බවත් පැවසීය.මුදල් වියදම් කිරීම් අතින් වීරකැටියට වඩා පොළොන්නරුවටත්, පොළොන්නරුව රාජකීය විද්‍යාලයටත් වැඩිපුරම මුදල් වැය කළ බව ද මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

මේ වන විට රට සංවර්ධනය වී මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉතා උසස් මට්ටමකට පැමිණ ඇති බව රට පුරා ජනතාවගේ ප්‍රතිචාරවලින් හෙළිවන බව කී ජනාධිපතිවරයා, එදා පාපැදියක් ඉල්ලූ නිලධාරීන් අද යතුරුපැදි ඉල්ලන තත්ත්වයට පත්ව ඇති බවත් කියා සිටියේය. නවීන් දිසානායක මහතා පවසන පරිදි චීන මුදල් අයථා ලෙස වියදම් වී නොමැති බව ද, ඒ පිළිබඳ කිසිදු කතාබහක් අසන්නට පවා නොමැති බව ද සඳහන් කළේය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ෙයන් ඉවත්ව ගිය අයගේ ෆයිල් තමා ළඟ ඇති බවත්, ඒවා එළියට දමන බවටත්, මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණු නමුත් තමන් ෆයිල් තියන බව පමණක් පැවැසූ බව ද, මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිනාමුසු මුහුණින් පවසා සිටියේය.චන්ද්‍රිකා මහත්මිය දන්සල් ගැන හා කෑම බිල් ගැන කතා කර තිබෙන නමුත් තමන් හමුවීමට එන ජනතාව බඩගින්නේ හිස් අතින් යැවීමේ පුරුද්දක් තමන් සතුව නොමැති බව ද මාව හම්බවෙන්න එන අයට කන්න නොදී යවන්න නොහැකි බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම රජයේ සෑම වියදමක් ම ටෙන්ඩර් කර වියදම් කරන බවත්, ටෙන්ඩර් නොකර වියදම් නොකරන බවත් කීවේය.නැවත බලයට පත්වූ පසු පළිගන්නවාදැයි අයෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, තමා එසේ පළිගන්නේ කාගෙන්දැයි ප්‍රශ්න කර සිටියේය. මේ වන විට තමන් කිසිවකුගෙන් පළි අරන් නැතැයි ද කීය. 2001 රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ පසු රටපුරා පළිගැනීම් සිදු වූ බවත්, 5000 කගෙන් පළිඅරන් 61 දෙනෙකුගේ ජීවිත අහිමි වූ බවත් කීවේය.

කලින් ඡන්දය කැඳවීම ගැන අයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවය. සිගරැට් පැකට්ටුවේ අනතුරු අඟවන රූප පිළිබඳ දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා ලකුණු දමා ගැනීමට කටයුතු කළද එය යෝජනා කර ක්‍රියාවට නැංවූයේ තමන්ගේ කාලයේදී බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය. සිගරැට් කොම්පැණි සහායෙන් මැතිවරණ කැම්පේන් කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බව ද ඒ මහතා කියා සිටියේය.

කතුවරුන්ගේ මේ මාධ්‍ය හමුව අමතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, විදේශ ඇමැති ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, මඩකළපුව ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක අරුන් තම්බිමුත්තු, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු කතා කළහ. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත් මහත්වරු ද මීට සහභාගි වූහ.

Paid Advertiesment

FB

Popular Posts